Sunday, May 8, 2022

9 වැනි ශ්‍රේණිය චිත්‍ර - වෙස්මුහුණේ වත ගොත

"වෙස් මුහුණේ වතගොත........"

* ලෝකයේ බොහෝ රටවල ප්‍රාග් ඓතිහාසික යුගවල වෙස්මුහුණු භාවිතා කර ඇත.

* දඩයක්කාර දිවිපෙවෙතක් ගෙවූ ගෝත්‍රික ජනයා දඩයමේ වර්ධනයට යාතුකර්ම සඳහා, සතුන් හා විරුද්ධ ගෝත්‍රික ජනයා බියවැද්දීමටද වෙස්මුහුණු යොදාගෙන ඇත.

*ශ්‍රී ලංකාවේද සාම්ප්‍රදායික පාරම්පරික ජනකලා කර්මාන්තයක් ලෙස වෙස්මුහුණු භාවිතා විය.

* දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙන්ම බෙන්තර , මිරිස්ස ,රයිගම කොරළය, සහ මතුගම මෙම කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

* අමුද්‍රව්‍ය :- දියකදුරු සහ රුක් අත්තන දැව භාවිතා කරයි.

වෙස් මුහුණු නිර්මාණය කිරීම:-

* ගණ කැපීම:-
ලී කඳන් කපා පොතුගසා කැබලි වලට කපා ගැනීම.

* කිරි හිඳවීම:-
කඳුරු දැවය අධික කිරිගතියෙන් යුක්ත නිසා දුමේ දමා හෝ මද අව්වේ වියලා ගැනීම.

*ලකුණු කැපීම :-
මුහුණේ අවශ්‍යය හැඩ හාඇස් කන් නාසය මුඛය වැනි සියුම් අංග මතුකර ගැනීම.

* මේසේ කිරීමෙන් පසුවද තවදුරටත් දුම් ගසා වේලාගනු ලැබේ.

* ඉන්පසුව වෙස්මුහුණට අවශ්‍යය හිසකෙස්, දැළිරැවුල් සහ උඩු රැවුල්, දත් ඔටුනු ආදිය වෙනම සාදා වද්දනු ලැබේ.
කුඩා මුහුණු කැට මුහුණු ලෙස හඳුන්වයි.

වෙස්මුහුණු වර්ණ ගැන්වීම......

* වර්ණ කිරීමට ප්‍රථම සුදු පැහැති මූලික ආලේපනයක් තවරනු ලැබේ.
මේසඳහා කිරිමැටි හෝ මකුළු මැටි දියකර පෙරාගනී.
මේවා "අල්ලියාදු" ලෙස හඳුන්වයි.

* ඉන්පසුව මුහුණට උචිත වර්ණ ආලේපනය කරන අතර ඒසඳහා සාම්ප්‍රදායික රීතින් ඒ ඒ ගුරු කුළ වල ඇත.

වර්ණ සකසා ගැනීම......
කහ - කහ හිරියල්.
රතු - සාදිලිංගම්.
සුදු  - මකුළු මැටි.
දම් - බෝවිටියා.
කොළ - රණවරා,මෑ
කළු - කීකිරිඳිය, අඳුන් දැළි (දුම්මල, කොහොල්ලෑ, කපු රෙදි එකට දවා ලබා ගන්නා දැලි).

* කල්පැවැත්ම හා තෙතමනයට ඔරොත්තු දීමට මෙන්ම දිස්නයක් ලබා ගැනීමට දොරණ තෙල් තැවරීම සිදුකරයි.

වෙස්මුහුණු වර්ග......

* සාම්ප්‍රදායික විවිධ යාතුකර්ම සහ ජන නාට්‍ය හා ජනනැටුම් සඳහා විවිධ හැඩසහිත වෙස්මුහුණු නිර්මාණය කර තිබේ.

*රජ මුහුණු - මහාසම්මත රජු හා රැජින.
* රාක්ෂස මුහුණු.
* යක්ෂ මුහුණු.
* නාගකන්‍යා මුහුණු.
* සන්නි මුහුණු.
* කෝලම් මුහුණු.

(මෙම මුහුණු ආශ්‍රයෙන් දහඅට පාළිය, දහඅට  සන්නිය , නොංචි කෝලම අණබෙර කෝලම ජස ලෙන්චිනා කෝලම වැනි කෝලම් නැටුම්.      යාතුකර්ම හා  ජන   නාට්‍ය    සිදු කරයි).

චිත්‍ර 6 වැනි ශ්‍රේණිය - ස්ථූපයක කොටස් හඳුනාගනිමු.

ස්ථූපයක (දාගැබක) කොටස් හඳුනා ගනිමු..........

* ස්ථූපය - දාගැබ, වෙහෙර,චෛත්‍යය ආදී විවිධ නම් වලින් හඳුන්වයි.

*සම්බුදු රජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ ගොඩනගා ඇති අතර එය සමස්ථ බෞද්ධයාගේම වන්දනීය වස්තුවකි.

* මුල්ම දාගැබ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම ඉදිවූබව ශාසන ඉතිහාසය කියයි.

*දාගැබක ඉහළින්ම ඇති පළිඟු ගල - චූඩාමාණික්‍ය, සිළුමිණ ආදී නම් වලින් හඳුන්වන අතර අතීතයේදී එය
"වජ්‍රචුම්භටුකය" ලෙස හඳුන්වා ඇත.

*පාදමේ ඇති පේසා වළලු තුන අතීතයේදී                " පියවසාව"ලෙස හඳුන්වා තිබේ.

* ඉන්දියාවේ ඇති සාංචි ස්ථූපය ධර්මාශෝක අධිරාජයා විසින් ⁣ඉදිකරවා ඇති අතර එය ඉන්දියාවේ ඉදිකල ප්‍රථම දාගැබ වේ.

Monday, June 21, 2021

9 ශ්‍රේණිය චිත්‍ර - වාහල්කඩ

Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.
Ajith w.Perera - St,Sylvester's College.

වාහල්කඩ.

* චෛත්‍යයක සතරදිසාවේ දාගැබට සම්බන්ධකර සාදා ඇති ඉදිකිරීම මෙලෙස හඳුන්වයි.මෙය ගෘහ නිර්මාණ වි⁣ශේෂයකි.

* දාගැබට පූජා පවත්වෙන විට මල් පහන් පිදීමටද භාවිතා කරන ලද මල් අසනයද මෙයට සම්බන්ධ කරඇත.

* අයක,ආයික යන නම් වලින්ද වාහල් කඩ හඳුන්වයි.

* පේසාවළලු වලට සම්බන්ධවන ⁣පාදම කොටස කළුගල් වලින් ඉදිකර ඉහළ විමාන සහිත කොටස ගඩොලින් සකසා ඇත.

*කළුගල් භාවිතා කල පහත කොටසේ බොරදම් තීරු ගණනාවකි.

* මෙම බොරදම් තීරු ඇත්, මකර,හංස සහ වාමන රූප කැටයම් කර ඇත.

* සමහර වාහල්කඩවල ගඩොලින් ඉදිකල කොටසේ විමාන තුනකි,ඒ
තුල බුද්ධ ප්‍රතිමා සහ දේවප්‍රතිමා තැන්පත් කර තිබෙන්නට ඇති බවට අනුමාන කිරීමට පුළුවන.

* වාහල්කඩ දෙපස විසිතුරු කැටයමින් අලංකාර කරනලද ගල්ටැම් පිහිටුවා ඇත.

* මෙම ගල්ටැම් වල ඉහළට ගමන් කරන කල්පලතා, කල්පවෘක්ෂ මෙන්ම නිදහස් සත්ත්ව මෝස්තර කැටයම් දැකිය හැකිය.

* මෙමගින් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය නිරූපණය වන
බව ට මතයකි.

* එමෙන්ම මේ ගල්ටැම් මත ඇත්,අස්,ගව,සිංහ
රූප පිහිටුවා ඇත. මෙයින්
සිව් දිශාව සංකේතවත් වන බවට මතයකි.

* අනුරාධපුර යුගයේ විශිෂ්ටතම වාහල් කඩ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහවාහල්කඩ වන අතර රුවන්වැලි දාගැබේ වාහල්කඩ ද ඉතා අලංකාරය.

*පොළොන්නරුව රන්කොත් වෙහෙරේ වාහල්කඩ එම යුගයේ අලංකාරම වාහල්කඩ ලෙස සැලකේ.

Wednesday, June 16, 2021

6 ශ්‍රේණිය චිත්‍ර - සිංහල සැරසිලි නිර්මාණකරණයේ පදනම.

Ruveena Amarasinghe - CP/ Wath /Arangala K.V.
Ajith w.Perera -St,Sylvester's College.

සිංහල සැරසිලි නිර්මාණකරණයේ පදනම.

* චිත්‍ර කලාව ඉගෙනගන්න  ගුරුතුමා ළඟට එන කුඩා දරුවාට (ආධුනිකයාට) පළමුවරට සිංහල සැරසිලි මෝස්තර තමයි උගන්වන්නේ.

යටිපෝරුව.
* මේ චිත්‍ර අඳින්න භාවිතා කරන පුවරුවට අපි කියනවා "යටිපෝරුව " කියලා.

* ලෑලි තට්ටුවක "වඩි" කියන මිශ්‍රණය ගාලා තමා යටිපෝරුව හදලා තියෙන්නේ.

* ඉකිරි කියන මුහුදු ජීවියා ගේ කටුවක් උණ ලීකෝටුවක සවිකරගෙන ඒකෙන් තමයි.
යටිපොරුවේ චිත්‍ර අඳින්නේ.

* යටිපොරුවේ වකදෙක ළමුවෙන්ම  අඳිනවා. ඊටපස්සේ ලියපත හා තිරිඟිතලය යන සැරසිලි ඒකක අඳිනවා

වකදෙක :-
සුභ නකතකට අනුව  ගුරුතුමා විසින් ගෝලයාට අඳින්න දෙන  මුල්ම අභ්‍යාස ය තමයි වකදෙක.

ලියපත :-
වකදෙක තවටිකක් වර්ධනය කරලා තියෙන ලියපත තමා ඊළඟට අන්දන්නේ.

තිරිඟිතලය :-
වයස අවුරුදු හතෙන් විතර ගුරුතුමා ළඟට එන ගෝලයා විවිධ අභ්‍යාසකරලා හොඳින් ඉගෙනගෙන අවුරුදු දොළහා විතරවෙනකොට චිත්‍ර වලින් අති දක්ෂයෙක් වෙනවා. ඉතිං අන්තිමට ගෝලයාට කියලා දෙන්නේ වකදෙකේ අමාරුම නිර්මාණයක් වුණු තිරිඟිතලයයි. ගෝලයා මේක මතකින් අඳින්න ඕනේ.

Monday, June 14, 2021

9 ශ්‍රේණිය චිත්‍ර - එස්.පී.චාල්ස් ශිල්පියා ගේ නිර්මාණ අගයමු.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.

එස්.පී.චාල්ස් ශිල්පියා ගේ නිර්මාණ අගයමු.

* 1916 මාතර වැලිගමදී උපන් මෙතුමා කොක්මාදූවේ නානායක්කාර ශිල්පියාගෙන්
චිත්‍රකලාව හැදෑරීය.

* 1944දී කොළඹ කාර්මික විද්‍යාලයෙන්, චිත්‍ර ශිල්පී ජේ.ඒ.ඩී.පෙරේරා මහතා යටතේ වැඩි දුරට චිත්‍රකලාව හැදෑරීය.

* පාරම්පරික බිතුසිතුවම් පිටපත් කිරීම හා ඒවායේ වර්ධනය සඳහා විශාල මෙහෙවරක් කලේය.

* ශ්‍රී ලංකාවේ ජාතික ධජය නිර්මාණ කමිටුවේ චිත්‍ර ශිල්පීයා මෙන්ම පාර්ලිමේන්තු සෙංකෝලයේ සැලසුම් නිර්මාණ ශිල්පියාද මෙතුමාය.

ජාතික ධජය.

* වර්තමානයේ භාවිතා කරන වර්ණ තීරුසහිත සිංහ කොඩිය නිර්මාණය කිරීම සඳහා පත්කල කමිටුවේ මෙතුමා සාමාජිකයෙක් විය. (එස්.ඩබ්:ආර්.ඩී.
බණ්ඩාරනායක මහතා - සභාපති/ සර් ජෝන් කොතලාවල මහතා/ ජේ.ආර්.ජයවර්ධන මහතා/
ලලිත රාජපක්ෂ මහතා/ ටී.බී.ජයා මහතා/ ජී.ජී.පොන්නම්බලම් මහතා/ පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා -කමිටු ලේකම් / චිත්‍ර ශිල්පී එස් .පී.චාල්ස් මහතා ).

*සිංහ කොඩියේ ර්ණ
හා සංකේත වල අර්ථ නිරූපණය :-

කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය.
අසිපත - පරමාධිපත්‍යය.
බෝකොළ සතර - සතර බ්‍රාහ්ම විහරණ.
තද රතුපාට පසුබිම - සිංහල.
රඹ පාට තීරුව - ද්‍රවිඩ.
කොළ පාට තීරුව - මුස්ලිම්.

සෙංකෝලය :-

* බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949දී මෙරට පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන ලදී.

* මෙම සෙංකෝලයේ     නිර්මාණ සැලසුම කර ඇත්තේද එස්.පී.චාල්ස් මහතා විසිනි.

* මෙහි නිර්මාණ දායකත්වය  බ්‍රිතාන්‍යය රාජකීය අභාරණ නිෂ්පාදන සමාගමකි.

* දේශීය අනන්‍යතාව රැකෙන පරිදි......
අඟල් 52 ක දිගින් යුතුව කැරට් 20 රන් පවුම් 45 ක්, රිදී රාත්තල් 3 1/2 පච්චවඩම් ,නිල් මැණික් හා නවරත්න මැණික්  මෙන්ම කළුවර දැව භාවිතාකර ඇත.

* මෙවැනි සෙංකෝලයක් සිංහල රාජසභාවේදී භාවිතා කල යෂ්ටිය,සෝළු ලීය,ලීලා දණ්ඩය  යන නම්වලින් හැඳන්වූ නිර්මාණයට සමාන වේ.

Friday, June 11, 2021

10 ශ්‍රේණිය චිත්‍ර - දෙගල්දොරුව රජමහ විහාරය.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.

දෙගල්දොරුව රජමහ විහාරය.

* මහනුවර යුගයට අයත් සිතුවම් සහිත, ලෙන් විහාර වර්ගයට අයත්ය.

* කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව.1747 -1782) විසින් ගොඩනගන ලදී.

* මෙහි සිතුවම් ඇඳි ප්‍රධාන ශිල්පියා දෙවරගම්පල සිල්වත්තැන වන අතර කොස් වත්තේ සිත්තර නයිදේ සහ නීලගම පටබැන්දා සහය විය.

* ගර්භ ගෘහයට ඇතුළුවන දොර දෙපස බිත්තියේ වෙස්සන්තර ජාතකය හා සුතසෝම ජාතකය සුවිශේෂ නිර්මාණ වේ.

* වෙස්සන්තර ජාතකයේ එන "ඇලි ඇතු දන්දීමේ චිත්‍රය " 
ඇතා ගේ සජීවී චලනය හා රිද්මය මනාව දක්වා ඇත.

* සිතුවම් නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණ:-
- තීරු සංරචනය තුල අඛණ්ඩ කථන ක්‍රමය හා පාර්ශව දර්ශී රූප.
- ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ භාවිතය.
- වර්ණ සඳහා කහ,කොළ,අඳුරු රතු,කළු,සුදු වර්ණ භාවිතය.
- රූප වටා නිමාව දක්වන ප්‍රශස්ත මට්ටමින් යුතු සියුම් රේඛාකරණය.
- පසුබිම සඳහා අඳුරු රතු වර්ණ  යොදාගෙන තිබීම.
- පසුබිමෙහි අවකාශය පිරවීමට විවිධ මල් වර්ග භාවිතය.
- සමස්ත සංරචනය තුල පරිමානය හා පරියාවලෝක රීතීන් නොසැලකීම.

* වියන්තල සිතුවම වන "මාරපරාජය"සිතුවම ඉතාමත් සුවිශේෂවේ. මෙහි තුවක්කුවක් අතින් ගත් මාරයකු දක්වා තිබීමෙන් එම යුගයේ සමකාලීන අත්දැකීම්  හා ද්‍රව්‍ය නිරූපණයට ශිල්පියා උත්සහ දරා ඇත.

* සිතුවම් වලටඅමතරව පිහිටි ගලෙහි නෙලා ඇති සඳකඩපහණ මහනුවර යුගයේ සුවිශේෂී නිර්මාණයක් වන අතර එහි ප්‍රධාන මොස්තරය ලෙස තිරිඟිතලය
යොදා ඇත.

Saturday, June 5, 2021

8 ශ්‍රේණිය චිත්‍ර සාම්ප්‍රදායික සත්ත්ව රූප.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe
CP/Wath/Arangala K.V.

සාම්ප්‍රදායික සත්ත්ව රූප.

දේශීය සාම්ප්‍රදායික සැරසිලිවල එන සත්ත්ව රූප අධ්‍යයනය කරමු.

* සාම්ප්‍රදායික සත්ත්ව රූප අතර විවිධ රූප රාශියක් හමුවේ.

*හංසයා සහ හංස පූට්ටුව :- බිතු සිතුවම්, ලී,ගල්, ඇත්දත්,රන්,රිදී,
පිත්තල කැටයම් හා ආභරණ මෙන්ම පුස්කොළ පොත් කම්බ ( පිටකවරය) සහ වඩිම්බු උළු කැට.

සිව් හංස පූට්ටුව :- සාම්ප්‍රදායික බිතු සිතුවම්(මහනුවර දළදා මාළිගා⁣වේ පල්ලේ මාලයේ සිවිලිමෙි හා ලංකාතිලක විහාරයේ සිවිලිමේ ),දැව කැටයම්.

* සිංහයා:- බිතු සිතුවම්,ලී,ගල්, රන්,රිදී,පිත්තල කැටයම් හා වඩිම්බු උළුකැට.

* ඇතා,අශ්වයා, ගවයා,ගිරවා, මොනරා,නාගයා:- බිතු සිතුවම්,ලී,ගල් පිත්තල  කැටයම්.

* ඇත්කඳ ලිහිණියා, භේරුණ්ඩ පක්ෂියා
ගජසිංහ, සැරපෙන්දියා:- ලී,ගල් හා පිත්තල කැටයම්.

* යාලී:- ලී හා ගල් කැටයම්.

සත්ත්ව සැරසිලි වල විශේෂ
ලක්ෂණ :-

* සෑම සත්ත්ව රූප සැරසිලි ඒකකයක්ම, රූප එකක් හෝ කීපයක් යොදා ශෛලිගතව නිර්මාණය කර තිබීම.

* මාධ්‍යයට,කලාකෘතියේ ස්වාභාවයට සහ තලයට උචිත ලෙස සම්පිණ්ඩනය කර තිබීම.

සත්ත්ව රූප ,සැරසිලි සුලබව  දැකිය හැකි ස්ථාන:-

ලී කැටයම් - ඇම්බැක්ක දේවාලය,හින්දු කෝවිල්.

බිතුසිතුවම්  - මහනුවර ශ්‍රී දළදා මාළිගාව, හින්දු ⁣කෝවිල්

රන්,රිදී  සහ පිත්තල 
කැටයම්  -  මහනුවර හා කොළඹ  ජාතික කෞතුකාගාර.

පුස්කොළ පොත් කම්බ සිතුවම් - ශ්‍රී දළදා මාළිගාව ,මහනුවර හා කොළඹ ජාතික කෞතුකාගාර.