Wednesday, June 17, 2020

11 වැනි ශ්‍රේණිය චිත්‍ර - වචනයේ තේරුම සඳහා අර්ථවත් වාක්‍යය ලියන්න.

Grade 11 - Art -  Ajith  W.Perera /Ruveena Amarasinghe.

වචනයේ තෙරුම අර්ථවත් වාක්‍යයකින්.........
(ඉතා වැදගත්:-මෙම ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලිවීමේදී අනිවාර්යයෙන්ම තනිවචනයෙන්, උදාහරණ හෝ සමාන වචන පිළිතුරු ලෙස ලිවීමෙන් වලකින්
01- පේසා වළලු :- දාගැබක පාදමට ඉහළින් ඇති වෘත්තාකාර වළලු ත්‍රිත්වය.අතීතයේ දී මෙයට පියවසාව යන්න භාවිතා කර ඇත.

02- ථූපඝර :- අව්වැසි අාදියෙන් කුඩා චෛත්‍යය ආරක්ෂා කිරීමට එය වටා ඉදිකරවන ගොඩනැගිල්ල,මෙයටම වටදාගය යන්නද ව්‍යවහාර වේ.

03- හර්මිකාව :- ලාංකික දාගැබ් වල ඇති හතරැස් කොටුව වෙනුවට සාංචි ස්ථූපයේ ඇති හතරැස් ගල් ගරාදි වැට.

04- ගෝපුරම් :- හින්දු  කෝවිලේ පිව්සුම දොරටුව හා සම්බන්ධ ප්‍රධාන  ගෘහනිර්මාණ අංගය.

05- නන්දි වෘෂභ :- හින්දු ආගමික සංකේතයක් ලෙස සැලකෙන අතර ගවරුව කලාත්මකව ‍යොදා ගෙන ඇත.

06- ගර්භගෘහය :- හින්දු කෝවිල තුල ප්‍රතිමා තැන්පත්කර ඇති කුටිය.

07- කුබ්/කුෆා :- ඉස්ලාම් පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉදිරිපස ඇති,උල් තුඩක් සහිත ගෝලාකාර ශිඛරය මින් හැඳින්වේ.

08- මිනාර්/ මිනරෙට් :- මුස්ලිම් පල්ලිය දෙපස ඉදිකර ඇති කුළුණු.

09- කැලිග්‍රැෆි ( Calligraphy) :-කුරාණයේ එන ආගමික පාඨ විවිධ හැඩ අනුව කලාත්මකව ලිවීමේ කලාව.

10- රෝස් වින්ඩෝ Rose Window:-  රෝමානු ක්‍රමයේ දේවස්ථාන වල  (බොකුවහල හා රවුම් ආරුක්කු සහිත )
ඉදිරිපස දොරටුවට ඉහලින් ඇති අලංකාර වීදුරු වලින් නිමවූ වෘත්තාකාර
කවුළුවකි.

11- රංජිත වීදුරු (Stain glass):- ගොතික් ක්‍රමයේ දේවස්ථානවල(තුඩු සහිත ආරුක්කු සහ දළ බෑවුම් සහිත වහල) තුඩුසහිත කවුළු වල අලංකාර වීදුරු කැබලි වලින් ක්‍රිස්තු චරිතයේ සිද්ධි හා අවස්ථා නිර්මාණය කර තිබීම.

12- යටිපෝරුව:- චිත්‍ර ගුරුතුමා විසින් අධුනිකයා හට  චිත්‍ර ඇඳීමට ලබා දෙන පුවරුව.

13- වකදෙක:- ආධුනිකයා  හට සුභ මොහොතින් යටිපෝරුව මත අඳින්නට දෙන ප්‍රථම මෝස්තර අභ්‍යාසය.

14- තිරිඟිතලය :- වකදෙක ඇඳීමෙන් පටන්ගන්නා කලාත්මක අභ්‍යාසකරණයේදී ආධුනිකයාට ලබාදෙන අවසන් සංකීර්ණ අභ්‍යාසය වනඅතර වකදෙකෙහි වර්ධනීයම මෝස්තරය ද මෙයයි.

15- කාටුන් වැඩසටහන්:- සරල හා වියුක්ත හැඩතල සහිතව නිර්මාණය කරන ලද රූප පරිගණක තාක්ෂණයෙන් සජීවීකරණයට ලක්කර කරනුලබන නිර්මාණ.

16- කඩහම් :-තල්කොළ ඇසුරෙන් නිපදවන විශාල පෙට්ටි.

17- කුට්ටාන් :- තල්කොළ ඇසුරෙන් නිපදවන තල්හකුරු බහාලන උපකරණය.

18- කදීර්පායි:- ධාන්‍ය වර්ග මෙන්ම වී සහ තම්බාපු වී වේළීම සදහා භාවිතා කරණ තල්කොළ පැදුරු.

19- පඩුක්කේයි පායි:- නිදාගැනීමට පාවිච්චි කරන තල්කොළ පැදුරු.

20- වර්ණ පායි:-මංගල අවස්ථා වල භාවිත කරන වර්ණවත් තල්කොළ  පැදුරු.

21- සෝට්ටුප්පායි :- බත්දැමිමට යොදාගන්නා තල්කොළ පැදුරු.

22- දුම්බර කළාල :- නියඳ හෝ හණකෙඳි වලින් වියනු ලබන පැදුරු විශේෂයකි.

23- පන්නම්කළාල :- දුම්බර කළාල කර්මාන්තයේ දී නිපදවන සාමාන්‍ය පැදුරු.

24- වැඩකළාල :- දුම්බර පැදුරු කර්මාන්තයේදී මිශ්‍ර සැරසිලි සහිතව(රත්වත්තේ අලංකාරය,තොරණ් පෙත්ත ආදී සැරසිලි මෝස්තර) නිර්මාණ කළ පැදුරු.

25- කුරුලු කළාල:- සත්ත්ව හා පක්ෂී මෝස්තර සහිතව (ඇතා,මුවා,නාග,තාරාවා සහ කුරුල්ලන්) නිපදවන දුම්බර පැදුරු.

26- ඔන්ඩිප්පායි :- මඩකළපු පන් පැදුරු  වල ජ්‍යාමිතික මොස්තර සහිත පැදුරු.

27- පුනිප්පායි :- සමාන්තර රටා සහිත මඩකලපු පන් පැදුරු.

28- යාගසාලෙයි:- හින්දු කෝවිලේ පැවැත්වෙන කුම්බාබිෂේකම් ශාන්ති කර්මය සඳහා අඹ ලී වලින් සාදන මඩුව.

29- තෛමින්තිය:- හින්දු කෝවිලේ දිනපතා පවත්වන පුජාවන් මෙයින් හැඳින්වේ.

30- සකපෝරුව :- සාම්ප්‍රදායික වළං කර්මාන්තයේදී මැටි වළං සෑදීම සඳහා  භාවිතා කරනුලබන අතින් කරකවන  වෘත්තාකාර පුවරුව.

31- වළං පත්ත සහ අත් ගල :- සකපෝරුව මඟින් සාදා ගත් වළං වල අඩිය(පල්ල)සාදාගැනීමට භාවිත කරන උපකරණ.

32- තළන වැඩ :- පිත්තල තහඩු උපයෝගී කරගෙන භාණ්ඩ නිපදවීම.

33- වාත්තු වැඩ:- පිත්තල උණුකර අච්චුවලට වත්කර භාණ්ඩ නිපදවීම.

34- පිත්තල තිරුවාසී :- හින්දු කෝවිල් වල දේව ප්‍රතිමා වටා සවිකරන පිත්තල ලෝහයෙන් නිමවූ රැස්වලල්ල.

35-ඌරා කැට ළිං:-කුඩා විශ්කම්භයකින් යුත් ළිං සඳහා යොදා ගන්නා මැටි බට.

36- ගණ කැපීම :- වෙස් මුහුණු සෑදීමේ පළමු පියවර වන මෙය ලී කඳන් කපා පොතු ගසා අවශ්‍ය ප්‍රමාණයට කපා ගැනීම.

37- පායම් පෑහීම:- ගැට සහිත තැන් කපා වෙස්මුහුණ සෑදීමට අවශ්‍ය ලෙස පැතලි කරගැනීම.

38- කිරි හිඳවීම :- වෙස්මුහුණ කැපීමට සකසාගත් කදුරු ලීයේ අධික කිරි ගතිය ඉවත්කිරීම සඳහා දුමේ දමා හෝ මද අව්වේ දමා වේලා ගැනීම.

39- ලකුණු කැපීම:- වෙස්මුහුණේ ඇස් කන් නාසය වැනි සියුම් අංග මතුකිරීම.

40- අල්ලියාදු:- වෙස්මුහුණ වර්ණ ගැන්වීමට පෙර එහි ආලේප කිරීමට  කිරිමැටි හෝ මකුළු මැටි දියකර පෙරා    සාදාගත් මූලික ආලේපනය.

41- මනිමේඛලෙයි:- හින්දු ඉතිහාසයේ සංග නම් යුගයේ සිට හින්දු ආගම හා බැඳුණු දැව කැටයම් පිළිබඳව සටහන්ව ඇති ඉතිහාස ග්‍රන්ථය.

42- මරවාහනම්:- හින්දු ආගමික පුූජා උත්සව වලදී දේව ප්‍රතිමා පෙරහැරේ ගෙනයාමට සකස්කළ දැවයෙන් කරන ලද වාහන.

43- වඩම්:- හින්දු දේව ප්‍රතිමා පෙරහැරේ වැඩමවාගෙන යන කඹයොදා ඇදගෙන යන වාහන.

44- කොට්ටල් බද්ද:- මහනුවර යුගයේදී පැවති රාජකීය කාර්මික කාර්යාංශය මේ නමින් හැඳින්වේ.

45- හංගිඩියන් :- අතීතයේදී ලාක්ෂා ශිල්පීන් හඳුන්වා ඇත්තේ මේ නමිනි.

46- පට්ටල් වැඩ:- භාණ්ඩය පට්ටලයට සවිකර එය කරකැවෙන විට ලාක්ෂා කැබැල්ල එයට අල්ලා ඒකාකාරව ලාක්ෂා  තැවරීමෙන් සාදාගන්නා ලද භාණ්ඩ.

47- නියපොතු වැඩ:- කොඩි, සේසත් මිටවල් සැරසිලි කිරීම සඳහා ලක්ෂා නූල් භාවිත කිරීම සහ ඒ සඳහා නියපොත්ත භාවිත කිරීම.

48- මඩොල් කුරුපාව:- ඇම්බැක්ක දේවාලයේ පරාල 26ක් එකම ලී ඇණයකට සවිකර ඇති වහල අංගය.

49- අඛණ්ඩකථන ක්‍රමය:- මහනුවර යුගයේ චිත්‍ර වල දැකිය හැකි එකම රූපය  හෝ රූප, විවිධ දර්ශන වල නැවත නැවත යොදමින් රූප රාමු පෙලක් ලෙස කතාව සිතුවම් කිරීම.

50- පාර්ශව දර්ශී :- මහනුවර යුගයේ සිතුවම් වල මානවරූප පැත්තකට හැරී ඇති ‍ආකාරයට දක්වා තිබීම.

51- පූර්ව දර්ශී :-මානවරූප ඉදිරි පසට හැරී ඇති අාකාරයට නිර්මාණය කර තිබීම.

52- ස්පින්ක්ස් රුව:- ඊජිප්තුවේ කුෆු පිරමීඩය ඉදිරිපිට ඇති සිංහ ශරීරයෙන් හා මනුෂ්‍ය මුහුණක් සහිත  උසින් අඩි 66ක් පමණ වූ ඉපැරැණි මූර්තිය.

53- ක්ෂය වෘද්ධි ලක්ෂණ :- රූප වල ඉදිරියට දැක්වීමේ දී කෙටිකර පෙන්වීම.

54- ප්‍රෙස්කෝ බුවනෝ:- තෙත බදාමය මත ඇඳ වර්ණ පූර්ණය කිරීමේ ක්‍රමය.

55- ප්‍රෙස්කෝ සිකෝ:- වියළි බදාමය මත සිතුවම් ඇඳීම.

56- ටෙම්පරා :- වියළි බදාමය මත බන්දන මාධ්‍යයක්(මැලියම්) සමග වර්ණ මිශ්‍රකර සිතුවම් ඇඳීම.

57- සරළ කඩරේඛණය (Hatching ):- එක් පැත්තකටම ඇඳි රේඛාවන්ගෙන් එළිය සහ අඳුර දැක්වීම.

58- හරස් කඩරේඛණය (Cross Hatching ):- එකිනෙකට කැපීයන රේඛා යොදාගනිමින් එළිය හා අඳුර දැක්වීම.

59- අල්ප උන්නත :- තලයෙන් කාලක් එසේත් නැතිනම් ස්වල්ප ප්‍රමාණයක කැටයම මතුකිරීම.

60- අර්ධඋන්නත :- තලයෙන් භාගයක, පමණ කැටයම මතුකිරීම.

61- අධි උන්නත:- තලයෙන් හතරෙන් තුනක, පමණ කැටයම මතුකිරීම.

62- පූර්ණ උන්නත :-  තලයෙන් සම්පූර්ණයෙන්ම කැටයම මතුකිරීම.

63- පර්යාවලෝක :- වස්තුවක් ඈතට දකින විට කුඩාවට පෙනීම.

64- වර්ණ පර්යාවලෝකය :-
වර්ණ ඈතට දකින විට ලා පැහැයෙන් පෙනීම.

65- කුරුලු ඇසින් දැකීම:- අහසේ සිට බලන විට පොළොවේ ඇති වස්තූ පෙනෙන ආකාරය.

66- මේධිය :- සාංචි ස්ථූපය වටා පොළොව මට්ටමෙන් අඩි 16 ක් පමණ ඉහලින් ඇති ප්‍රදක්ෂිණා පථය.

67- යූපය හෙවත් යෂ්ටිය :- සාංචි ස්ථූපය මුදුනේ ඇති හර්මිකාව මැද සවිකර ඇති ශෛලමය අටපට්ටම් කුළුණ.

68- උඩලිපත:- සාංචි තොරණේ ඇති තිරස් ගල් පුවරු තුන.

69- සාලබංජිකා:- සාංචි තොරණේ තිරස් පළමු  ගල් පුවරුවට කුඤ්ඤයක් ලෙස සම්බන්ධව ඇති යක්ෂණී රූප.

70- සාරිපුත්‍රය:- බුදුු පිළිම ඇඹීම සහ ඇඳීම පිළබඳ මිනුම් හා සිද්ධාන්ත ඇතුලත් ග්‍රන්ථය.

71- මූලික වර්ණ :- වර්ණාවලියෙහි ඇති ප්‍රධාන වර්ණ තුනවන නිල්,කහ සහ රතු මෙයින් අදහස්වේ.

72- කියරොස්කුරෝ- අඳුර තුලින් ආලෝකය තීව්‍ර ලෙස පින්සල් පහර නොපෙනෙන සේ මතුකර දැක්වීම.

73- ඝනිකවාදය:- වර්ණ හා හැඩතලවලට ඝනත්වයක් එකතුකිරීමට ජ්‍යාමිතික හැඩතල ආදේශ කිරීම.

74- පර්ජන්‍ය:- වැස්සවලාහක දෙවියන් හඳුන්වන නාමයක් වන මෙයින් ඉසුරුමුණි මිනිසා හා අශ්ව හිස කැටයමේ මිනිසා සංකේතවත් කෙරේ.

75- ත්‍රිභංග:- ප්‍රතිමා නිර්මාණයේදී බෙල්ලෙන්,ඉඟෙන් හා දණහිස යන තුන් පලින් නැමුණු ආකාරය දැක්වීම.

Friday, June 5, 2020

08වැනි ශ්‍රේණිය චිත්‍ර ප්‍රශ්ණ හා පිළිතුරු

Ajith W.Perera /Ruveena Amarasinghe.

චිත්‍ර -  ප්‍රශ්ණ හා පිළිතුරු 08 වැනි ශ්‍රේණිය.

01- බුදු පිළිම පිහිටුවා ඇති අාසන දෙක කුමක්ද ?
*පද්මාසනය - පද්මයක් ආකාරයෙන් කැටයම් කර ඇති වෘත්තාකාර පීඨිකාව.
වජ්‍රාසනය - වජ්‍රයක සළකුණ කැටයම් කර ඇති ආසනය.

02- හිඳි බුද්ධ ප්‍රතිමා වල දෙපා පිහිටුවා ඇති ආසන ක්‍රම තුන නම්කරන්න.
* 1- වීරාසන
   2- පද්මාසන(යෝගාසන)
   3- භද්‍රාසනය

03- වීරාසනය හඳුන්වන්න.
*වම් පාදය මත දකුණු පාදය සිටින සේ වාඩිවී සිටින ආකාරය.

04-  පද්මාසනය හඳුන්වන්න.
*යටිපතුල් දෙකම උඩු අතට සමව පිහිටන සේ වාඩිවී සිටින ආකාරය.

05- භද්‍රාසනය යනු කුමක්ද ?
*කෙටි ආසනයක් මත දණහිස් නවා යටි පතුල් පොළොවට ස්පර්ශ වන සේ හිඳගෙන සිටීම.

06- බුදු පිළිමයේ මුද්‍රාව යන්නෙන් කුමක් අදහස් වේද?
*සංකේතාත්මකව දෑත් තබාගෙන සිටින ආකාරය මින් අදහස් වේ.

07- බුදු පිළිම වල මුද්‍රා නම් කරන්න.
*ධ්‍යාන (සමාධි) මුද්‍රාව:- සමාධියට (ධ්‍යානයකට)  සමවැදුණු ආකාරය.

අභය මුද්‍රාව:-නිදහස දීම සංකේතවත් කරයි.

විතර්ක මුද්‍රාව :- ගැටළුවක් විසඳන අවස්ථාව.

භූමිස්පර්ශ මුද්‍රාව :-මහ පොළොව සාක්ෂි යන අර්ථය.

වරද මුද්‍රාව :-වරයක් දීම.

පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව :-අන්‍යයන්ගේ දුකේදී කම්පා විම.

ධම්ම චක්ක මුද්‍රාව:- ප්‍රථම ධර්ම දේශනාව (ධර්මය දේශනා කරන).

කටක හස්ත මුද්‍රාව :-යමක් අල්ලාගෙන සිටින අවස්ථාව.

08- හින්දු ප්‍රතිමා වල ආසන ක්‍රම මොනවාද?
*ලලිත ආසනය ( පීඨය මත හිඳගෙන සිටින ඉරියව්වකි.එක පාදයක් නවා අනෙක්  පාදය නිදහසේ පහතට දමාගෙන සිටින ආකාරය).

රාජලීලාසනය (වම්පය තිරස් අතට නවා,දකුණු පය සිරස්ව නවා දකුණ'ත වැලමිට දකුණු දණහිස මත තබාගෙන).

පර්යංක ආසනය(පුටුවක හිඳ දෙපා පහතට නවා තබාගෙන සිටින ආකාරයකි).

09- හින්දු ප්‍රතිමාවල මුද්‍රා මොනවාද ?
*අභය මුද්‍රාව.
වරද මුද්‍රාව .
විතර්ක මුද්‍රාව.
කටක හස්ත මුද්‍රාව.

ගජහස්ත මුද්‍රාව(අලි හොඬවැලක ස්වරූපයෙන් අත්ල හා ඇඟිලි පහතට දිගුකර.බාධක ඉවත්කර නිදහස ලබා දීම).

නමස්කාර මුද්‍රාව-අංජලී මුද්‍රාව (ආයාචනය,ප්‍රාර්ථනය  වැඳීම දැක්වේ.)

ලෝල හස්ත මුද්‍රාව (කාන්තා දේවරූප සඳහා භාවිත වේ. පහළට දැමූ අතෙහි අත්ල සහ ඇඟිලි රිද්මයානුකූලව පොළොවට දිගුවන සේ නිරූපිතයි.තැන්පත් බව නිරූපණය වේ.

10-යුරෝපා ප්‍රාග්ඓතිහාසික සිතුවම් කුමන කාලයකට අයත්ද?
*ක්‍රිපු 40,000 - 10000 අතර කාලයකට අයත්වේ.

11- යුරෝපා ප්‍රාග්ඓතිහාසික සිතුවම් සඳහා ප්‍රසිද්ධ ස්ථාන නම් කරන්න.
*ප්‍රංශයේ ලැස්කෝ ගුහාව.
  ස්පාඤ්ඤයේ ඇල්ටමීරා,ෆොන්ඩිගෝම් සහ කොගුල් ගුහාව.

12- දේශීය සාම්ප්‍රදායික සත්ත්ව රූ කැටයම් ඇති ස්ථාන නම්කරන්න.
*ලී කැටයම් - ඇම්බැක්ක දේවාලය, හින්දු කෝවිල්.
බිතුසිතුවම් - මහනුවර ශ්‍රී දළඳා මාළිගාව, මහනුවර ගංගාරාම රජමහ විහාරය,දෙගල්දොරුව රජමහ විහාරය,
රිදී විහාරය, රන්ගිරි දඹුල්ල රජමහ විහාරය.ලංකාතිලක රජමහ විහාරය ඇතුළු මහනුවර යුගයේ රජමහ විහාර.
හින්දු කෝවිල්.

13- සිංහල සාම්ප්‍රදායික සැරසිලිවල එන සත්ත්ව රූප නම්කරන්න.
*හංසයා/හංස පූට්ටුව  - බිතුසිතුවම්, ලීකැටයම්, ඇත්දත් කැටයම්,රන්රිදී ආභරණ, පිත්තල ඇතුළු ‍ලෝහ භාණ්ඩ, පුස්කොළ පොත් කම්බ.

සිව් හංස පූට්ටුව  - බිතුසිතුවම්(මහනුවර  ශ්‍රී දළඳා මාළිගාවේ පල්ලේ මාලයේ සිවිලිම් චිත්‍ර ) ලංකාතිලක රජමහ විහාරය.

සිංහයා - බිතුසිතුවම්,ලී/ගල්කැටයම්, වඩිම්බු උළුකැට, රන්,රිදී හා පිත්තල භාණ්ඩ.

ඇතා,අශ්වයා,ගවයා,ගිරවා,මොනරා,
නාගයා - බිතුසිතුවම්,ගල්හා ලීකැටයම්,පිත්තල.

ඇත්කඳ ලිහිණියා,භේරුණ්ඩ පක්ෂීයා, ගජසිංහ, සරපෙන්දියා - බිතුසිතුවම් ලී හා ගල් කැටයම්,රන්,රිදී හා පිත්තල භාණ්ඩ.

14- දෙමළ සාම්ප්‍රදායික සත්ත්ව රූප දක්වන්න.
* සිංහම්
   නාගයා
   නන්දි වෘෂභ
   යාලී - කෝවිල් සිතුවම්, ලී හා ගල් කැටයම්.

Thursday, June 4, 2020

07 වැනි ශ්‍රේණිය චිත්‍ර - ප්‍රශ්ණ හා පිළිතුරු.

Ajith W. Perera / Ruveena Amarasinghe.

චිත්‍ර විෂයයට අදාල ප්‍රශ්ණ හා *පිළිතුරු.

01- රූපවාහිනී කාටුන් යනු මොනවාද ?
* සරල හා වියුක්ත හැඩ සහිතව නිර්මාණය කරන ලද රූප පරිගණක තාක්ෂණයෙන් සජීවීකරණයට පත්කිරීම.
මෙහිදී විවිධ රසයන් මතුකිරීම සඳහා මන්දගාමී හා අධිවේගී චලන භාවිත කෙරේ.

02- රූපවාහිනියෙන් ප්‍රචාරය වූ විශිෂ්ට ගනයේ කාටුන් කීපයක් නම් කරන්න.
*දොස්තර හොඳ හිත
  පිස්සු පූසා
  කූඹිච්චී
  වලස් මාමා
  දඟර වලිග ලප වානර.

03- රූකඩ කලාව සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය කුමක්ද ?
*අම්බලන්ගොඩ.

04- ප්‍රධාන රූකඩ වර්ග නම්කරන්න.
* නූල් රූකඩ
   අත් රූකඩ
   සෙවනැලි රූකඩ
   රිටි රූකඩ
   ඇඟිලි රූකඩ.

05- රූපවාහිනියෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ  මින් කුමන රූකඩ ද?
* අත් රූකඩ
   රිටි රූකඩ .

06- අප රටේ අතීතයේ සිට ජනප්‍රිය රූකඩ වර්ගය කුමක්ද ?
* නූල් රූකඩ.

07- ලංකාවේ වේදිකාගත වන ඓතිහාසික සිද්ධි  හෝ චරිත ඇතුළත්
රූකඩ නාට්‍යය නම්කරන්න.
*කාලගෝල
  පටාචාරා
  අජාසත්ත
  සිරිසඟබෝ
  වෙස්සන්තර
  ඇහැළේපොල.

08- තල්කොළ කර්මාන්තයේ දී නිපදවන භාණ්ඩ කීපයක් නම් කරන්න.
* පැදුරු
  පෙට්ටි, කඩහම්(විශාල පෙට්ටි )
   කුල්ල
   කුට්ටාන්(තල්හකුරු බහාලන)
   විලාසිතා ආභරණ
   බිත්ති සැරසිලි.

09- මෙම භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ දක්වන්න.
                    මඩකලපුව     යාපනය
පැදුරු           පාලමින්මඩු   වෙලනෙයි
                  තාලංකුඩා       වරනි
කුල්ල          පුදුක්කකුඩි       සින්නමඩු                                     තොප්පි       තිරායිමඩු       අල්ලාරෙයි
මලු,කූඩා      කල්කුඩා          පුත්තූර්

10- තල් කොළ පැදුරු වර්ග නම් කරන්න.
*  කදීර් පායි  ( අස්වනු වේලන පැදුරු)
පඩුක්කේයි පායි (නිදන පැදුරු)
වර්ණ  පායි (පාට පැදුරු)
පන්දිප් පායි (උත්සව පැදුරු )
සෝට්ටුප්පායි ( බත් පැදුරු ).

11- තල්කොළ පැදුරු වලට යොදන මෝස්තර මොනවාද?
* සියඹලා ඇට රටාව
තරු රටාව
හතරැස් රටාව
තිත් රටාව
සත්ත්ව රූ - ගිරවා,ගස,
මල,මල්වැල ( පූසාන්දිරම්)

12- යොදාගන්නා වර්ණ නම්කරන්න.
* කුකුල් සායම්  ලුණු, අරළු සමග
තම්බා ගැනීම.
කොළ, දම්,රතු,කහකුඩු - දියර සමග මිශ්‍ර කරගැනීම.

13- දුම්බර කළාල හෙවත් නියඳ පැදුරු වර්ග තුන දක්වන්න.
* පන්නම්කළාල(සාමාන්‍ය පැදුරු)
වැඩ කළාල (මිශ්‍ර සැරසිලි සහිත පැදුරු)
කුරුලු කළාල( කුරුලු සැරසිලි).

14- දුම්බර කළාල සඳහා යොදා ගන්නා සැරසිලි ඒකක නම් කරන්න.
*තොරණ්පෙත්ත
රත්වත්තේ අලංකාරය
තනි වැල් ඉරුව
දෙපොට ලණුව
මල් ගස
කුරුලුමෝස්තර
තාරා
නාග
ඇතා
මුවා.

15- දුම්බර පැදුරු හා පන් පැදුරු සදහා වර්ණ ගන්වන්නේ කෙසේද ?
*රතු - පතඟි දැව(Gareinia Gummigutta) හා
කොරකහ කොළ.
කහ- වෙනිවැල්ගැට (Curma longa) හෝ අමුකහ.
කොළ - කනේරු කොළ (Nerium odorm),ලුණු මිදෙල්ල,කැලෑ කොහොඹ(Melia dubia)
කළු - අරළු,බුළු කොටා තම්බා ගැනීමෙන්.

16- අතීතයේ පන් කර්මාන්තයේ යෙදුන පුද්ගලයින් හැදින්වුණු නම කුමක්ද ?
*`කින්නර´

17 - පන් පැදුරු සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය නම් කරන්න.
*තුන්හිරිියා පන්
ගල්ලැහැ පන්
බොරුපන්
වැටකෙයියා
දුණුකෙයියා.

18 - දුම්බර පැදුරු හා පන්කර්මාන්තය ප්‍රචලිත ප්‍රදේශ නම් කරන්න.
* දුම්බර පැදුරු - මහනුවර මැණික්හීන්න කලාසිරිගම.
පන් පැදුරු - කළුතර, ගාල්ල,ගම්පහ,රත්නපුර දිස්ත්‍රික්කය වල
මඩකලපු පන් පැදුරු :- වාලච්චේනෙයි, කල්ලාරු, කාත්තාන් කුඩි, එරාවුර්.

19 - එම ප්‍රදේශවල වියමන් වලදී භාවිත සැරසිලි නම් කරන්න.
* තනිපට/දෙපට ලණුව,කදුරු මල, අවුල්හැරේ, වංකගිරිය, මාසදොළහා, රත්වත්තේ අලංකාරය, තාරකා පෙත්ත,
අලියා, කුරුල්ලා,නයිපොරේ, මුවා,මකුළු රටාව.

20- මඩකලපු පන් පැදුරු වල වියන රටා අනුව වර්ග දෙක නම් කරන්න.
* න්ඩිප්පායි - සමචතුරශ්‍රය, සෘජුකෝණාශ්‍රය,  ත්‍රිකෝණය, වැනි ජ්‍යාමිතික හැඩතල සහිත රටා.
පුනිප්පායි - සමාන්තර රටා.
(මේ දෙවර්ගයටම ආදාලව රටා 30කින් පමණ පැදුරු විවීම කරනු ලබයි.

21- ථූපාරාමය, රුවන්මැලි සෑය,
යන දාගැබ් පිළිබඳව විමසන්න.
*ථූපාරාමය :-
යුගය:- අනුරාධපුර
අනුග්‍රහය:- දේවානම්පියතිස්ස රජු
ඓතිහාසික වටිනාකම:- මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් පසු ඉදිකල ප්‍රථම දාගැබ.
හැඩය :- මුල් හැඩය ධාන්‍යාකාර වන අතර, වර්ථමාන හැඩය ඝණ්ඨාකාර වේ.
උස:- අඩි 63කි.
විශේෂ ලක්ෂණ :- ලජ්ජිතිස්ස රජු විසින්
චෛත්‍ය වටකර වටදාගෙයක් (ථූපඝරයක්) සාදවන ලදී.

රුවන්මැලි සෑය :-
යුගය:- අනුරාධපුර
අනුග්‍රහය:- දුටුගැමුණු රජු
ඓතිහාසික වටිනාකම:- මේ විශ්වයේ වැඩිම සර්වඥ්ඥ ධාතුන්වහන්සේලා තැන්පත්කර ඇති දාගැබ.
හැඩය:- බුබ්බුලාකාර
උස:- අඩි 350.

22- ප්‍රාග්ඓතිහාසික සිතුවම් වැඩි පුරම හමුවන පළාත් දෙක නම් කරන්න.
*උතුරු මැද පළාත
නැගෙනහිර පළාත.

23- මෙම සිතුවම් සඳහා වස්තුවිෂය වී ඇත්තේ මොනවාද ?
*මිනිසා,සතුන් සහ සංකේත.

24- දැකිය හැකි සත්ත්ව රූප නම් කරන්න.
*අලියා,දිවියා,සිංහයා,කිඹුලා,පත්තෑයා, මුවා,ගොණා,වඳුරා,තලගොයා සහ මොණරා.

25- චිත්‍ර ඇඳීමට භාවිත වූ ශිල්ප ක්‍රම මොනවාද?
*1- රේඛාමය ඇඳීම
  2- ලී කැබැල්ලකින් හෝ ඇඟිල්ලෙන් සායම් තැවරීම
  3- සීරීමෙන් මතුකිරීමේ ක්‍රමය.(Engraving)

26- ප්‍රාග්ඓතිහාසික සිතුවම් ඇති ස්ථාන නම් කරන්න.
*තන්තිරිමලේ ලෙන (අනුරාධපුර දිස්ත්‍රික්කය).
දොරවක ලෙන(කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ආසන්නයේ)
බිල්ලෑව ලෙන(අනුරාධපුර දිස්ත්‍රික්කය )

27- තන්තිරිමලේ ඇති විශේෂ සිතුවම් දක්වන්න.
*දුනුවායා,
සතෙකුගේ පිටමත යන මිනිසා,
කණ්ඩායම් සම්පිණ්ඩනය (නිවසක්තුළ සිටින මිනිස් රූප)

28- දොරවක ලෙනෙහි ඇති විශේෂ සිතුවම කුමක්ද?
*ඇතා සහ ඇත්පැටවා.
මාළුවා සහ මිනිස් රුව.

29- බිල්ලෑව ලෙන අැති සුවිශේෂී සිතුවම් නම් කරන්න.
*සතෙකු පිට යන මිනිසා
මොල්ලිය සහිත ගවයා
මිනිස් රූප සම්පිණ්ඩනය (නිවසක්තුළ මිනිස් රූප).

30-උද්භිද සැරසිලි හඳුන්වන්න.
*ගස් වැල් සහ මල් නිර්මාණශීලීව සිත්තම් කළ මෝස්තර ඒකක.

31- සැරසිලි නිර්මාණ ප්‍රධාන කොටස් දෙක සහ එයට උදාහරණ නම් කරන්න.
*ස්වාභාවික- (සපුමල,වැටකේමල, මානෙල්මල)
කල්පිත- (කඩුපුල් මල, සීනමල, පරසතුමල,කතිරමල,අන්නාසි මල)

32-මේවා දැකිය හැකි කලාකර්මාන්ත හා ස්ථාන දක්වන්න.
*විහාර බිතුසිතුවම්
ගල්කැටයම්
ලීකැටයම්

*ශ්‍රී දළඳා මාළිගාව.
ලේවැල්ල ගංගාරාම රජමහා විහාරය.
දෙගල්දොරුව රජමහා විහාරය .
ඇම්බැක්ක දේවාලය.

                   

  

06 වැනි ශ්‍රේණිය චිත්‍ර ප්‍රශ්ණ සහ පිළිතුරු.

Ajith W.Perera /Ruveena Amarasinghe.

06 වැනි ශ්‍රේණිය චිත්‍ර  ප්‍රශ්ණ හා*පිළිතුරු ____________________________________

01- වෙසක් උත්සවයේදී ප්‍රමුඛතාව ලැබෙන පූජාවන් දෙක කුමක්ද ?
* ආමිස පූජාව.
   ප්‍රතිපත්ති පූජාව.

02- වෙසක් සැරසිලි නම්කරන්න.
* තොරණ,වෙසක් කූඩු,පහන්වැට.........

03- ප්‍රතිපත්ති පූජාවක් නම්......
* සීලසමාදානය.
   භාවනා කිරීම.

04- වෙසක් සැරසිලි සඳහා භාවිත කරන ස්වභාවික ද්‍රව්‍යය නම් කරන්න.
* ගොක් කොළ,ඉරටු, උණබට, පොල්කටු............
වෙල්කදුරු /නාවා ගස්වල ගෙඩි (පොල්තෙල් පහන් දැල්වීම සඳහා මැටිපහන් වලට විකල්ප ලෙස).

05- හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවය කුමක්ද ?
* තෛපොංගල් උත්සවය.

06- "තෛපොංගල්"යන්නෙහි තේරුම දක්වන්න.
* තෛයි:- ජනවාරී මාසය.
   පොංගල් :- අළුත් මැටි මුට්ටියක අළුත් සහලින් කිරි ඉතිරවීම.(එයින්ම  හකුරු,කජු ආදිය මිශ්‍ර  කිරිබතක් සාදාගනු ලැ‍බේ. මෙය පොංගල් බත් ලෙසද හඳුන්වයි.

07- තෛපොංගල් සැරසිලි නම්කරන්න.
* නිවසේ ප්‍රධාන දොරටුව දෙපස කෙසෙල් ගස් සිටුවා තොරණ ඉදිකිරීම.
පිරිසිදු කරගත් ගෙබිම මත කහ කුඩු,සහල්පිටි,වර්ණ ගැන්වූ සහල් වලින් කෝලම් රටා නිර්මාණය කිරීම.

08- මෙම උත්සවය පවත්වන්නේ කුමන දෙවියන් උදෙසාද ?
* හිරු දෙවියන් හට කෘතගුණ දැක්වීමට.

09- ඊදුල් ෆිත්ර් යනු කුමක්ද ?
* රාමසාන් උත්සවය මේනමින් හැඳින්වේ.

10- `සව්ම්´ යන්නෙහි තේරුම කුමක්ද?
* රාමසාන් මාසයේදී  ඉස්ලාම් භක්තිකයන් යෙදෙන උපවාසය හඳුන්වන නම.

11- රාමසාන් වලදී ඉස්ලාම් භක්තිකයන් දෙනු ලබන ප්‍රධාන දානයන් දෙක දක්වන්න.
* `Zසකාත්´ නම් අනිවාර්ය දානය.
`සදකා´ නම් අනිවාර්ය නොවන දානය.

12- නත්තල් උත්සවය සමරන මාසය හා ආගමිකයෝ කවරහුද ?
* දෙසැම්බර් 25.
කතෝලික /ක්‍රිස්තියානි ආගමිකයන්.

13- මෙම උත්සවයට බැඳුණු සැරසිලි නම්කරන්න.
* දේවස්ථාන හා නිවෙස් සැරසීම.
   ගවලෙන් සෑදීම.
   නත්තල් ගස් නිර්මාණය.

14- නත්තල් යන්නෙහි අර්ථය දක්වන්න?
* `නතාල´ යන පෘතුගීසි වචනය හා `නතාලිස්´ යන ලතින් වචනයේ තෙරුම `උපත´ යන්නයි.
'නතාල'යන වචනයෙන්
නත්තල යන්න සිංහලයට පෙරළී ඇත.

15- චෛත්‍යයක කොටස් නම් කරන්න.
* පාදම, පේසා වළලු(පියවසාව), ධාතු ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත, චූඩා මාණික්‍යය( සිළුමිණ,වජ්‍රචුම්භටුකය).

16- චෛත්‍යය ගර්භයේ හැඩය අනුව ප්‍රධාන වර්ග හය දක්වන්න.
* 1. ධාන්‍යාකාර - වීි (ධාන්‍ය ) ගොඩක හැඩය.
   2. පද්මාකාර - නෙළුම් මලක හැඩය.
   3. ඝණ්ඨාකාර - ඝණ්ඨාවක (ඝාණ්ඨාරය) හැඩය
   4. බුබ්බුලාකාර/බුබුලාකාර-
දිය බුබුලක හැඩය.
    5. ඝටාකාර - කළයක් මුනින් අතට නැමූ හැඩය.
    6. ආමලකාකාර/ආම්ලාකාර - නෙල්ලි ගෙඩියක හැඩය.

17- ඉන්දියාවේ සාංචි ස්තූපයේ ඇති හර්මිකාව හා ඡත්‍ර සහිත යූප කුළුණ වෙනුවට ලංකාවේ චෛත්‍ය දක්නට ලැබෙන්නේ මොනවාද ?
*හර්මිකාව - හතරැස් කොටුව.
ඡත්‍ර සහිත යූප කුළුණ-  දේවතා කොටුව හා කොත්කරැල්ල.

18- හින්දු කෝවිලේ බිම සැලැස්මේ ප්‍රධාන කොටස් හතර නම් කරන්න.
*  1.මණ්ඩපය
    2.ගෝපුරම්
    4.ප්‍රදක්ෂිණ පථය
    5.ගර්භ ගෘහය

19 -ගෝපුරම් යනු කුමක්ද ?
* කෝවිලට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ඇති උස් ඉදිකිරීම මේ නමින් හැඳින්වේ. මෙය අට්ටාල, විමාන හා පැන්නුම් කුළුණු වලින් සමන්විත අතර විවිධ මූර්ති රාශියක් ද දැකිය හැකිය.

20- හින්දු ආගමික සංකේතය කුමක්ද ?
* වෘෂභ කොඩිය.

21- මස්ජිදය යන්නෙහි තේරුම ලියන්න.
* ඉස්ලාම් පල්ලිය.

22- කුෆා හෙවත්කුබ් ( කුම්බා) යනු කුමක්ද?
* ඉදිරිපස ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළින් ඉදිකර ඇති,උල්වූ තුඩක් සහිත
ගෝලාකාර විශාල ශිඛරය.
 
23- මිනාර් හෙවත් මිනරෙට් යනු කුමක්ද ?
* මස්ජිදය දෙපස ඉදිකර ඇති කුළුණු,මේවා මතද කුඩා ගෝලාකාර ශිඛර තනා ඇත.

24- කැලිග්‍රැෆි( Calligraphy )යනු මොනවාද?
* කුරානයේ ආගමික පාඨ ආරාබි බසින් විචිත්‍ර ලෙස ලිවීමේ කලාව.(ඉස්ලාම් පල්ලියේ චිත්‍ර හෝ මූර්ති දැකිය නොහැකිය.

25- ලංකාවේ ඇති ක්‍රිස්තියානි දේවස්ථාන ඉදිකර ඇති නිර්මාණ ශෛලීන් දෙක නම් කරන්න.
* රෝමානු ශෛලිය.( බොකු වහල හා රවුම් ආරුක්කු සහිතයි.ප්‍රධාන දොරටුවට ඉහළින් වෘත්තාකාර කවුළුවකි.Rose Window )
ගොතික් ශෛලිය (දළ බෑවුම් සහිත වහල හා තුඩු සහිත ආරුක්කු ඇත මේතුල තුඩු සහිත ජනේල  රංජිත වීදුරු වලින් අලංකාරකර ඇත.)

26- රංජිත වීදුරු (Stain Glass ) යනු මොනවාද?
* කුඩා අලංකාරවත් වීදුරු කැබලි ආශ්‍රයෙන් බයිබලයේ කතා ක්‍රිස්තු චරිතයේ සිද්ධි නිර්මානය කර තිබීම

27- ක්‍රිස්තු දේවස්ථානයේ බිම්සැලැස්මේ ප්‍රධාන කොටස් නම් කරන්න.
* අල්තාරය
දෙපස කාමර
දිග් ශාලාව
ස්තම්භ( කුළුණු )
බයිබලය කියවන ස්ථානය
පිවිසුම දොරටුව.

28- අල්තාරය යනු කුමක්ද ?
ශාලාවේ එක් කොනක වේදිකාවක අලංකාර වැටකින්වටකර ඇති පුජාසනය.(එය පිටුපස බිත්තියේ කැටයම්,චිත්‍ර,හෝ රංජිත වීදුරු වලින්
ක්‍රිස්තු තුමන්ගේජීවන අවස්ථා දක්වා ඇත).

06 වැනි ශ්‍රේණියේ චිත්‍ර දරුවන්ට,
මෙම පාඩම් සඳහා අවශ්‍ය රූප සටහන්
O/L Art 2020
Whatsapp සමූහයට ගොස් ලබාගන්න.