Wednesday, May 27, 2020

06 වනි ශ්‍රේණිය චිත්‍ර - ගෙදරවැඩ.

Ajith W. Perera /Ruveena Amarasinghe.
චිත්‍ර  ගෙදරවැඩ..........

*අම්මා මාව දොයිකරන්න හදපු හැටි අගෙයි.
*සෙනග පිරෙන ගමේ කඩේ.
*මීටරයේ දුරින් සිට ආගමික වතාවත්.
*මගේ මල්වත්ත.
* ගෙවත්තේ එළවළු නෙලන පවු‍ලේ අය.
*මා දුටු සිහිනයක්.
* පවුලේ අපි සියළුදෙනා ගෙදරටම වෙලා.
* මගේ මාළු ටැංකිය.
*මගේ සුරතලයි මායි.
*තමන් කැමති කතන්දරයකින් කොටසක්.

*මිනිස්රූප/ගස්/සත්ත්ව රූප වලින්
දවසට විනාඩි 15 අනිවාර්යයෙන්ම  එකක් අඳින්න.
මෙම චිත්‍ර, පොත් තුනකට ගොනුකරන්න.

07 වැනි ශ්‍රේණිය චිත්‍ර - ගෙදරවැඩ

Ajith W. Perera /Ruveena Amarasinghe.

චිත්‍ර ගෙදරවැඩ...........

*සෙල්ලම් කරන ළමයි.
*නිවාඩුවේ අපේ ගෙවත්ත.
*අස්වනු නෙලන්නෝ.
*අපේ පන්සලේ/කෝවිලේ /පල්ලියේ
මීටරයක දුරින් සිට සහභාගී වන ආගමික උත්සවය.
* ගෙදරටම එන එළවළු කඩේ.
*වනයේ සැරිසරන සතුන්.
*ඇලක,ගඟක දියනාන මිතුරන්.
*ශ්‍රමදානයක යෙදෙන පිරිසක්.
*පොරබදන සතුන් දෙදෙනෙක්.
*තමන් කැමති තේමා.

*මිනිස්රූප/ගස්/සත්ත්ව රූප වලින්
දවසට විනාඩි 15 අනිවාර්යයෙන්ම  එකක් අඳින්න.
මෙම චිත්‍ර, පොත් තුනකට ගොනුකරන්න.

Monday, May 25, 2020

08 වැනි ශ්‍රේණිය චිත්‍ර - ප්‍රාග්ඓතිහාසික චිත්‍ර - යුරෝපා

Ajith w.Perera /Ruveena Amarasinghe.

යුරෝපා ප්‍රාග්ඓතිහාසික චිත්‍ර........

ක්‍රිපු 40,000 - 10,000 අතර කාලයට අයත් වේ.ගුහාවල ජීවත් වූ මානවයා එදිනෙදා දඩයම් ජිවිතයේදී ලැබූ අත්දැකීම්,ගුහා බිත්ති මත සිතුවම් කොට තිබේ.

මේවා අතර සත්ත්ව හා මානව රූ, ජ්‍යාමිතික හැඩ,විවිධ සංකේත ද වේ.

ප්‍රංශයේ ලැස්කෝ,
ස්පාඤ්ඤයේ ඇල්ටමයිරා,ෆොන්ඩිගෝම්.කෝගුල්
ගුහා ප්‍රධාන තැනක් ගනී.

මේ සඳහා ඔවුන් භාවිතකළ ශිල්පක්‍රම
කිහිපයකි
- රේඛා චිත්‍ර (Line drawing)
- වර්ණ සිතුවම් (Painting)
- ගල්බිත්තිය හාරා නිර්මාණය කරන රූප(Engraving )
- අත් සළකුණු (Hand prints)

*වර්ණ ගැන්වීම සඳහා පරිසරයෙන් සොයාගත් ස්වාභාවික ද්‍රව්‍ය වන අඟුරු,කිරිමැටි,සත්ත්ව ලේ,හිරිගල්,පස් ආදිය භාවිත කර ඇති අතර ඒවා ජලය, මැලියම් හෝ සත්ත්ව ලේ සමග පාවිච්චිකර ඇත.

ඇල්ටමීරා (අල්ටමයිරා) ගුහා චිත්‍ර......

*මෙම ගුහාව අයත්වනුයේ ස්පාඤ්ඤයටයි. ක්‍රිපු:15,000 - 10,000 පමණ අයත් යැයි සැලකේ.

*මෙහි රේඛා චිත්‍ර, වර්ණ සිතුවම්,ගල් බිත්තිය හාරා කරන නිර්මාණ, අත්සළකුණු ආදි ශිල්පක්‍රම කිහිපයකටම අයත් සිතුවම් දැකිය හැක.

*බයිසන් රුව, අශ්ව රූ,පිනිමුවන් සහ වල්ඌරන්ගේ සිතුවම් හා ජ්‍යාමිතික හැඩතල ඒ අතර වේ.

*රතු,දුඹුරු,කළු සහ සුදු  යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වාකළු පැහැති බාහිර රේඛාවක් යොදා තිබේ.

ලැස්කෝ ගුහා චිත්‍ර(බයිසන් ගුහාව)........

*ප්‍රංශයේ මොන්ටිනැක්නුවර ආශ්‍රිතව ලැස්කෝ (Laxcaus) ගුහා පිහිටා ඇත.

*මෙම සිතුවම් ක්‍රිපු 15,000 - 13,000 අතර කාලයට අයත්ය.
ප්‍රාග්ඓතිහාසික සිතුවම් වලට අයත් සියළු ශිල්පක්‍රමය වලට අයත් සිතුවම් මෙහි ඇත.

*මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ බයිසන් රූප විශාල ප්‍රමාණයක් ඇති අතර අඩි 17 ක් දිග බයිසන් රුවක් ද නිර්මාණය කර තිබීමයි.

*දඩයම් දර්ශනය (Hunting Scene ) ලෙස සැලකෙන ඊතල පහර කා ඉදිරියට පනින බයිසන් ගවයා ගේ රුව සහ බිම වැතිර සිටින මිනිසාගේ රුව මෙහි ඇත විශේෂ චිත්‍රයකි.

Sunday, May 24, 2020

08 වැනි ශ්‍රේණිය චිත්‍ර - පිත්තල කර්මාන්තය.

Ajith w.Perera /Ruveena Amarasinghe.

ශ්‍රී ලංකාවේ පාරම්පරික පිත්තල කර්මාන්තය.

*අනුරාධපුර යුගයේ සිටම පිත්තල කර්මාන්තය පැවති බවට සාධක පවතී.එම යුගයන්ට අයත් පිත්තල භාණ්ඩ රැසක් රට තුළ ඇති කෞතුකාගාර රැසක දැකිය හැකිය.

*පිත්තල කර්මාන්තයේ විශාල  වර්ධනයක් මහනුවර යුගයේ දී   (18 වැනි සියවසේදී) රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවිය.

*පිත්තල යනු ස්වාභාවික ලෝහයක් නොව මිනිසා විසින් සාදාගත්තකි.එය සාදාගන්නේ තඹ(Copper ) හා තුත්තනාගම් (Sinc)යන ලෝහ එකතු කිරීමෙනි.

නිෂ්පාදනය කරණ ශිල්පක්‍රම දෙකකි

1- තළන වැඩ ( තහඩු වැඩ )
2- වාත්තු වැඩ.

1- තළන වැඩ ( තහඩු වැඩ)

* පිත්තල තහඩු උපයෝගී කරගෙ භාණ්ඩ නිපදවීම .මේ ක්‍රමයට අනුව පිත්තල බන්දේසි,හෙප්පු,යතුරුතහඩු,පහන් ආවරණ,තිරුවාසී (කෝවිල්වලට ගන්නා සැරසිලි), ආභරණ පෙට්ටි හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කෙරේ.

2- වාත්තු වැඩ.

පිත්තල වාත්තුව.......

ඉටිවාත්තු ක්‍රමය.
පස්වාත්තු ක්‍රමය.
යනුවෙන් කොටස් දෙකකි.

ඉටිවාත්තු ක්‍රමය .....

*ඉටි වාත්තුව යනු පිත්තල උණුකර අච්චු වලට වත්කර භාණ්ඩ සාදා ගැනීමේ ක්‍රමයයි.

*මෙම ක්‍රමයට පිත්තල මල්පෝච්චි, පහන්,තැටි,පාත්‍ර,සෙම්බු,කොතල,
කෙණ්ඩි,කල හා පඩික්කම්,සරනේරු,
කිල්ලෝටා,ගිරා,කරඬු,කොත්,දොරවල් හා පෙට්ටි වල අල්ලු මෙන්ම බුදු පිළිම
හා වෙනත් පිළිම වර්ගද වාත්තු කරයි.

*පළමුව මූලික හැඩය මැටිවලින් සාදා
ඒ මත ඉටි තට්ටුවක් අලවා අවශ්‍ය හැඩය ලබා ගනී.

*එම ඉටිතට්ටුව මත අවශ්‍ය හැඩමතුකර එයට උඩින් ඉටි තට්ටුව වැසෙන සේ අඟල් දෙක,තුනක ඝනකමට මැටි බඳිනු ලබයි.

*මෙම අච්චු ව හොඳින් වේලා,
තබා ඇති සිදුරු කට පහතට හරවා, ගින්නට අල්ලා උණුකර, ඉටි ඉවත්කර, උණුකරගත් පිත්තල ද්‍රාවණය මැටි අච්චුවට වත්කර, නිවුණු පසු අච්චුව කඩා  පිත්තල භාණ්ඩය ගනු ලැබේ.

පස්වාත්තු ක්‍රමය........

*වර්තමානයේ බහුලවම භාවිතා කරණ ක්‍රමයයි.
පස්වාත්තුව සඳහා අවශ්‍ය පස් මිශ්‍රණය සඳහා සියුම්ව සකසා ගත් උළුකුඩු , මැටිකුඩු, වෙන්ටර්නයිට් පාෂාණය, සිලිකා වැලි මිශ්‍රකරගනී.

*මෙම මිශ්‍රණය සතරැස් ලී රාමු තුළට දමා හොඳින් තදකර ඒමත අදාළ පිත්තල භාණ්ඩය තබා තදකර භාණ්ඩයේ හරි අඩක අච්චුවක් සකසා ගනී.

*එම අච්චුව තුළට උණුකර ගත් පිත්තල වක්කර ගැනීමෙන් භාණ්ඩයේ එක් පළුවක් සකස් කරගෙන. අනික් පළුව ද මේ ආකාරයට ම අනික්පළුවත් සකසා ගෙන එම පළු දෙකම හොඳින් පාස්සා ගැනීමෙන් සම්පූර්ණ භාණ්ඩයම සාදාගනී.

භාණ්ඩ අලංකරණ ක්‍රම :-

* පිත්තල භාණ්ඩ පීර,විවිධ කටු (කැටයම් මතුකිරීමට මෙවැනි කටු 52ක් පමණ යොදා ගනී) ග්‍රයින්ඩර් ආදියෙන් කැටයම් දමා ඔපකර ගනී.

* සැරසිලි සඳහා ලියවැල ,අන්නාසි මල, භේරුණ්ඩ පක්ෂියා,
හංස පූට්ටුව, ආදී විවිධ සිංහල සැරසිලි මෝස්තර බහුලව යොදා ගනී.

* එසේම සැරසිලි සඳහා අවශ්‍යතාවය අනුව යකඩ,තඹ,රිදී සහ රන් වැනි ලෝහ මිශ්‍ර කරයි.

*ශ්‍රී ලංකාවේ පිත්තල කර්මාන්තය ප්‍රචලිත ප්‍රදේශ.

මහනුවර - පමුණුව,ගඩලාදෙණිය, පිළිමතලාව, කිරිවවුල, දවුලගල,නත්තරම්පොත(කලාපුරය).
මාතර - තංගල්ලේ අඟුල්මඩුව
යාපනය - වන්නාර්පන්නෙයි
මඩකලපුව - පෙරියපෝරතිව්.

09 වැනි ශ්‍රෙණිය චිත්‍ර - සත්ත්ව රූප ඇතුළත් සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි.

Ajith w.Perera /Ruveena Amarasinghe.

සත්ත්ව රූප ඇතුළත් සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි.

*සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර, අධ්‍යයනයෙහි පහසුව සඳහා ප්‍රධාන කොටස් හතරකට බෙදාගනී..
- දිව්‍ය
- සත්ත්ව
- උද්භිද
- නිර්ජීවී ( ජ්‍යාමිතික )

සත්ත්ව සැරසිලි කොටස්
තුනකි.
- ස්වාභාවික
- අර්ධ නිරූඪ(ස්වාභාවික/කල්පිත එකතුව )
- නිරූඪ (කල්පිත) ලෙසටය.

මෙයින් නිරූඪ සත්ත්ව සැරසිලි ගණනාවක් අතුරින්......
- වෘෂභ කුඤ්ඤරය
- කිහිඹි මුහුණ
- මකර රුව
- යාලි රුව........ ගැන සලකා බලමු.

*අපරටේ ඉපැරැණි බිතුසිතුවම් ,කැටයම් අතර මේ සුවිශේෂී නිර්මාණ දැකිය හැකිය.

*දකුණු ඉන්දියාවේ දේවාල ආශ්‍රිතව යාලී රුව අප රටේ මකර රුවට සමානය.

*මෙම නිර්මාණ මගින් පැරණි නිර්මාණ ශිල්පීයාගේ රූප සම්පිණ්ඩනය පිළිබඳ ඥානය ඉස්මතු වේ.

වෘෂභ කුඤ්ඤරය :-

*මුහුණට මුහුණ ලා සිටි ඇතකුගේ සහ ගොනකුගේ හිස් එකට සම්පිණ්ඩනය වන සේ මෙය නිමවා ඇත.

*ගොනාගේ අං දෙකම දළ දෙක ලෙස යොදාගෙන තිබේ. ඇතාගේ හොඬවැලෙන්ම ගොනාගේ මොල්ලිය මතුකර ඇත.

*සතුන් දෙදෙනාටම එක ඇසක් ලෙස දක්වා ඇත.
කුරුණෑගල රිදී විහාරය, ඇම්බැක්ක දේවාලයේ සහ මහනුවර ශ්‍රී  දළඳා මාළිගාවේ වෘෂභ කුඤ්ඤර චිත්‍ර ,කැටයම් දක්නට ලැබේ.

*දෝව රජ මහ විහාරයේ වෘෂභ කුඤ්ඤරයෙන් දක්වා ඇත්තේ බිහිසුණු ලෙස සටන් වැද සිටින ඇතෙකු හා ගොනකුය.

කිහිඹි මුහුණ (කිඹිහි මුහුණ ):-

*කීර්ති මුඛ ලෙසද මෙය හඳුන්වන අතර මකර තොරණ දෙපස ඇති මකර රූ දෙක මැදින් මකර තොරණ මධ්‍යයේ ඉහළින් ම කිහිඹි මුහුණ පිහිටුවා ඇත.

*කිඹිහි මුහුණේ කට විශාලය, රතු තොල් සහිතය, මුඛය දෙපසට කරකැවෙන දළ දෙක සමග අලංකාර ලියපත් නිර්මාණ දෙකකි,විශාල දෙනෙත පහතට නැඹුරුව දක්වා ඇත.

*මිනිසෙකු හට කිඹුහුමක් යන විට මුහුණේ දැකිය හැකි ස්වාභාවය මින් නිරූපණය වන බවටද මතයකි.

මකර රුව:-

*ඇත්සොඬ/සිහපා / යුගකන්    ඌරා
දත්පෙළ කිඹුලුය/යුගනෙත්       වඳුරා
වෙත් මසු ඇඟ/ගුරුළුගේ පිය     පතරා
යුක්ත ය මේ හැමගෙන් රුව       මකරා

*ඇතා බලය පාන්නේ උගේ සොඬයෙනි.
සිංහයා ඉදිරි පාද යුගලයෙනි. කිඹුලා දත්වලිනි,  ගුරුළා සිය පියාපත්වලිනි.
ඌරා ගේ කන් හා වඳුරා ගේ ඇස් ඉතා තියුණු ය, මාළුවා ට සිය ශරීරහැඩය නිසා වේගයෙන් පිහිණීමට හැකිය. මෙයින් අදහස් වෙන්නේ මේ සුවිශේෂී බලයන් හතම මකරා සතුබවකි.

*මකර සංකල්පය ග්‍රීසිය,චීනය,ඉන්දියාව යන ආදිම ශිෂ්ටාචාරය වල පවා ප්‍රචලිත ව පැවතිබවට පුරා විද්‍යා සාක්ෂි ඇත.

*මකර කැටයම් බහුලව හමුවන්නේ
කොරවක්ගල් හා දොර උළුවහුවල ඇති මකර තොරණවලය.

යාලි රුව:-

*යාලි යනු පුරාණෝක්තිගත නිර්මාණාත්මක සත්ත්වයෙකි.

*බොහොම හින්දු කෝවිල්වල දැකිය හැකිය.

*‍මෙම රුව නිර්මාණය කිරීම සඳහා ඇතා,සිංහ,අශ්ව යන සතුන්ගේ කොටස් එක්කර අැත.

*කෝවිලේ ආරක්ෂාව සංකේතවත් වීම මෙන්ම කෝවිල ආශ්‍රිත කලානිර්මාණයක් වන මඤ්ජම් හි අලංකාර සඳහා යොදාගැනේ.

Saturday, May 23, 2020

10 වැනි ශ්‍රේණිය චිත්‍ර - ඊජිප්තු මූර්ති හා චිත්‍ර.....

ඊජිප්තු (මිසර) කලා නිර්මාණ.........
Ajith W. Perera/Ruveena Amarasinghe.

*නයිල් ගංගාධාරය ආශ්‍රිතව ගොඩනැගුණු
ඊජිප්තු (මිසර ) ශිෂ්ටාචාරය ක්‍රිපු 3000-30 කාලපරාසයට අයත්ය.

*පාරාවරුන්ගේ බලය ලොවට කියන
පිරමිඩ,ගෘහනිර්මාණ,චිත්‍ර හා මූර්ති  ආදී මහා කලා නිර්මාණ රාශියකි.

*මෙම නිර්මාණ අමර්ණා,ගීසා, සහ තීබස්
යන නගර ආශ්‍රිතව හමුවේ.

ඊජිප්තු මූර්ති..........

- ස්පින්ක්ස් (Sphinx)
- ලියන්නා (Scribe)
- නෙෆර්ටිටි(Nefertiti)

ඊජිප්තු චිත්‍ර.......

- මීඩම්හී පාත්තයෝ (Geese of Meidum)
- කුරුලු දඩයම ( Fowling Scene)

ස්පින්ක්ස් ..........

*66×240 උසින් හා පළලින් යුත් මෙම මූර්තිය කුෆු පිරමීඩය අසලපිහිටුවා ඇත.
ක්‍රිපු 2440 ට අයත් මෙය මිසරයේ ඉපැරැණිම මූර්තියකි.

*මිනිස් මුහුණක් සහ සිංහ ශරීරයෙන් යුක්තව ඉදිකර ඇත.ස්පින්ක්ස් මූර්ති රැසක් හමුවන අතර ප්‍රධාන පිරමිඩය අසල ඇත්තේ මහා ස්පින්ක්ස් (GREAT SPHINX ) මූර්තියයි.

*මෙය පාරාවරුන්ගේ බලපරාක්‍රමය හා ආරක්ෂාව නිරූපණය කරණ බව විචාරකයන්ගේ මතයයි.

ලියන්නා  හෙවත් ස්ක්‍රයිබ්
(SCRIBE )................

*පැරණි යුගයට අයත්ය.

*දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත්කර ඇති මෙම රුව ඊජිප්තු මූර්ති කලාවේ විශිෂ්ටතම නිර්මාණයකි.

*ත්‍රිකෝණාකාර ආකෘතියකට නෑකම් කියනමෙය හුණු ගලින් අඩි දෙකක් පමණ උසකින් නිමවා ඇත.

*පූර්ණ උන්නත ක්‍රමය ට නිමවා ඇති අතර ක්‍රිස්ටල් වර්ගයේ ගලින් ඇස්වල කුහර පුරවා තිබේ.

*වර්ණ ගැන්වූ මූර්තියක් වන මෙය ක්‍රිපු 2600 - 2350 ත් අතර කාලයට අයත් වේ.

*සක්කරා ප්‍රදේශයේ සොහොන් ගෙයකින් හමුවූ ස්ක්‍රයිබ් මූර්තිය තම ස්වාමියා පවසන දෙය ලිවීමට සැරසී සිටින ආකාරයෙන් නිරූපිතය.

නෙෆර්ටිටි (NEFERTITI )......

*අමර්ණා යුගය හෙවත් නව රාජධානි සමයේ නිර්මාණයකි.දැනට බර්ලින් කෞතුකාගාරයේ  තැන්පත්කර ඇත.

*පූර්ණ උන්නතව නිර්මාණය කරණ ලද
කාන්තා උඩුකය පිළිරුවකි.

*ශෛලගත සම්ප්‍රදායෙන් මිදී ස්වාභාවික ශෛලියේ ලක්ෂණ මෙයින් ඉස්මතු වේ.

*අඟල් 20පමණ වන මේ මූර්තිය
හුණු ගල් මාධ්‍යයෙන් කර ඇත .

*නවරාජධානී යුගයේ පාලකයෙකු වූ අක්නේටන් රජුගේ බිසව බවට සැලකෙන අතර ක්‍රිපු 1375 පමණ කාලයට අයත්ය.

*දිගටි බෙල්ල මෙන්ම ගෙල පැළඳි මාලය, හිස පැලඳි විසිතුරු ඔටුන්න අධිරාජිනියක සතු තේජෝබලපරාක්‍රමය පෙන්වයි.

ඊජිප්තු චිත්‍ර නිර්මාණ.........

*සොහොන් ගෙවල් සහ පිරමිඩ,දේවස්ථාන තළ දැකිය හැකිය .

*ද්විමාන බව,පාර්ශව ගතබව මෙ නිර්මාණ වල විශේෂයකි.

*වර්ණ පැතලි ක්‍රමයට වර්ණ යොදා තිබේ.

*කල්පිත සංකල්ප මෙන්ම, ජන ජීවිතයේ විවිධ සිද්ධි,රජවරුන්, බිසෝවරුන් හා සබැඳි සිද්ධි සිතුවම් ලෙස දැකිය හැක.

*සිතුවම් වල අවකාශය පිරවීම සඳහා භාවිතාකර ඇති හයරොග්ලිපික්ස්
( Hieroglyphics)හෙවත් රූපාක්ෂර
ලේඛණකරණයේ පළමු අවස්ථාව බව පුරාවිද්‍යාඥ මතයයි.

මීඩම් හී  පාත්තයෝ.....

*ක්‍රිපු 2630 දී පැරණි රාජධානි යුගයට අයත්ය.

*මීඩම්හී  මස්ටාබා වර්ගයකට අයත් සොහොන් ගෙයකින් හමුවී ඇත.

*මෙයින් නිරූපණය වන්නේ එකා පිටුපස එකා ලෙස තිදෙනා බැගින් දෙපසට යන පාත්තයෝ සය දෙනෙකි.

*වර්ණ යෙදීමේදී කළු,සුදු,දුඹුරු වර්ණවල ප්‍රභේද මතුවන ලෙස යොදා ඇති අතර රේඛාකරණය මගින් සියුම් විස්තරාත්මක හැඩ දක්වා ඇත.

කුරුලු දඩයම.......

*කුරුලු දඩයම චිත්‍රය ක්‍රිපු 1587 - 1350 අතර නවරාජධානී යුගයෙන් හමුවී ඇත.

*මෙය තීබස් වල නෙබාමුන්  (Nebamun)
සොහොන් ගැබෙන් හමුවී ඇති වර්ණ සිතුවමකි.

*මෙයින් දැක්වෙන්නේ ඊජිප්තු වංශාධිපතියෙකුවූ "නෙබාමුන්" නයිල් නදියේ ඔරුවක නැගී තම අත ඇති භූමරංගය භාවිතාකරමින් කුරුල්ලන්දඩයම් කරන ආකාරයයි.ඔහුගේ එක අතක අල්ලාගත් පක්ෂීන් තිදෙනෙකි.

*සිතුවමේ දැක්වෙන කාන්තා රූප දෙක ඔහුගේ දියණිය හා බිරිඳ බවට මතයකි.

*පඳුරක් තුල සිටින ඔහුගේ දඩයම් බළලා
කටින් එක් පකෂියෙකු හා පාද වලින් පක්ෂීන් දෙදෙනෙකු අල්ලාගෙන සිටින අයුරක් දැක්වේ.

*මානව රූප පාර්ශව දර්ශී ශෛලීගත  ලෙසද ශාක හා සතුන් ස්වාභාවික ලෙස දක්වා ඇත.

*තීරු සංරචනයක් වන මෙය වියළිබදාමය මත ප්‍රස්කෝ සිකෝ ක්‍රමයට ඇඳ ඇත .

*වර්ණ සඳහා අඳුරු කහ,රතු,සුදු,කළු ආදීද්විමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතා කර ඇත.

*දැනට මෙය ලන්ඩන් හී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට  තබා ඇත.

10 වැනි ශ්‍රේණිය චිත්‍ර - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නිර්මාණ

Ajith w.Perera /Ruveena Amarasinghe.

ඉන්දු නිම්නයෙන් හමුවූ  සුවිශේෂී කලා කෘති.............

*පුරාවිද්‍යාඥ ශ්‍රීමත්ජෝන් මාෂල්ට අනුව මෙම ශිෂ්ටාචාරය ක්‍රිපු 3250-2750
අතර කාලයට අයත් අතර එහි ස්වර්ණමය යුගය ක්‍රිපු 2500-1500 අතර  බව ඉන්දීය පුරාවිද්‍යාඥ යින්ගේ මතයයි.

*මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරය ලෙසද හඳුන්වයි

*හින්දියෙන්  මොහෙන් -ජෝ දාරෝ යන්නෙහි තේරුම "මළවුන්ගේ ගොඩැල්ල " යන්නයි.

*මෙම වැසියන් උසස් කලා කෞශල්‍යයන් හෙබි ජනකොටසක්  බව කැණීම් වලින් හමුවූ ද්‍රව්‍ය හා මෙවලම් වලින්පැහැදිලිවේ.
එම නිර්මාණ පහත පරිදි හඳුනාගත හැකිය.
- ගල් හා ලෝහ ප්‍රතිමා.
- මුද්‍රා.
- වාස්තුවිද්‍යාත්මක නිර්මාණ.
- ආභරණ හා මෙවලම්.
- සෙල්ලම් බඩු.

ඉන්දු නිම්න මූර්ති.......

පූජක රුව.

*මොහෙන්ජෝදාරෝ වෙන් සොයාගෙන ඇත.

*පුරුෂ උඩුකයක් දැක්වෙන අතර සජීවී නිර්මාණයකට ගත් සජීවී උත්සහයකි.

*19 cm ක් උසය. සුදු හුණු ගලින් නිමවා ඇත.

*ඒකාශ කල සළුවේ පෙති තුනේ මල් මෝස්තරයකි.
අඩක් මුඩුකළ හිස හා අඩවන් දෙනෙත්ය.
භාවනානුයෝගී පූජක රුවක් ලෙස හැඳින්වේ.
නළලත ගාංචුව සහිත නලල් පටයකි.

නළඟන..........

*ලෝකඩ වාත්තු නිර්මාණයකි.
හරප්පාවෙන් හමුවී ඇත.පූර්ණ උන්නතව වාත්තු කර ඇත.
උස අඟල් 4 1/2 කි.

*දෑස අඩවන්ය එක් අතක් ඉණ තබා කකුළක් නවා ප්‍රකෝපාකාර ඉරියව්වකින් සිටගෙන සිටී.

*කෙසඟ නග්න කාන්තා රුවකි
මාලයක් හා දෙඅත් හී වළලු පැළඳසිටී.
දෙවොලක රඟන ස්ත්‍රීයත් ලෙස සැලකෙන අතර දැනට නවදිල්ලියේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

රතු වැලි ගලින් කළ කවන්ධ පිරිමි රුව..........

*මානවදේහය ඉතාම මටසිළුටු ලෙස හා සියුම් ආකාරයෙන් දක්වා ඇත.

*ග්‍රික සම්භාව්‍ය ලක්ෂණ වලින් යුක්තය.
රතුපැහැ හුණු ගලින් නිමවා ඇති මෙම පූර්ණ උන්නත මූර්තිය හරප්පාවෙන් හමුවී ඇත. උස අඟල් 4 (4 CM ) කි.

*හිස හා අත්පා වෙනම  කොටස් ලෙස සවිකිරීමට සිදුරු භාවිතාකර ඇත.

අළු වැලි ගලින් කළ කවන්ධ මිනිස්  රුව......

*හරප්පාවෙන් හමුවන මෙය පූර්ණ උන්නතව අළු වැලි ගලින් නිමවා ඇත.

*උස සෙ. මී.10 කි.නර්තන විලාසයක් පාමින් වම් කකුල ඉහලට ඔසවාගත් අයුරුය.

*නටරාජා නර්තන විලාසය බව විචාරක මතයයි.

*ග්‍රීක හා රෝම සම්භාව්‍ය ලක්ෂණ ප්‍රකට කරන තාත්වික ස්වාභාවික ලක්ෂණ මින් දැක්වේ.

ඉන්දු නිම්න මුද්‍රා.......

*මුද්‍රා දෙදහසකට අධික ප්‍රමාණයක් හමුවී ඇත.වෙළෙඳ භාණ්ඩ වල ඇසුරුම් පෙට්ටි සඳහා භාවිතා කරන්නට ඇති බව අනුමාන කරයි.

*දිගටි,අටපට්ටම් හා හතරැස් ආදී හැඩයන්ගෙන් යුක්තය.රූප වලට අමතරව අක්ෂර ද දක්නට ලැබේ.

මොල්ලිය සහිත ගව රුව....

හමුවූ ගවරූප වසිපහකින් පමණ කලාත්මකම රූපය මෙයයි.

පාර්ශව දර්ශී රූපයෙන් ගවයාගේ ශක්තිය , තේජස හා ජවසම්පන්න බව මෙන්ම ගති ස්වාභාවය තාත්වික ලෙස හොඳින් නිරූපණය කර ඇත.

ශිවදේව වාහනය වූ නන්දි ගවයා මෙයින් සංකේතවත් වේ.

මීට අමතරව එක් අඟක් සහිත, කොට අං සහිත,ආදී ගව සංකේත රාශියක් හමුවී ඇත .

ශිව පශුපති රුව........

*මෙය අං සහිත දෙවියා ලෙසද හඳුන්වයි.
ඔහුගේ හිසමත අං යුගල සහිත ශීර්ෂාභරණයක්, මෙන්ම ගෙළ දෙඅත් වස්ත්‍රාභරණ වලින් සරසා ඇත.

*ආසනයට පහළ මුවෝ දෙදෙනෙකි,රූපය වටා රයිනෝ,වෘෂභ ,හස්ති හා කොටිරූප දැකිය හැක.

*ශිව ගේ එක් මූලාදර්ශයක් වන, පශුපති (කෘෂිකර්මාන්තය ට අධිපති) බව ජෝන් මාෂල් පවසයි.

*දේවරූපය ඉදිරි පසටත්
(පූර්ව දර්ශී ) අනිකුත් සත්ත්ව රූ පාර්ශව දර්ශී ලෙසත් නිමවා ඇත.

Friday, May 22, 2020

10 වැනි ශ්‍රේණිය - චිත්‍ර - මූර්ති හා චිත්‍ර ශිල්පීන්.

Ajith w. Perera /Ruveena Amarasinghe.

10 වැනි ශ්‍රේණිය චිත්‍ර - චිත්‍ර හා මූර්ති ශිල්පීන්.

තාවඩි මූ. තුරෙයිසාමී........

වස්තුවිෂය :- යාපනේ නල්ලූර් හී සට්ටනාදර් ශිවදේවාලයේ .......
සුදු අත් ඇති පූජක රුව(ඵෙයර්),
ගණපති රූපය,
සුදු කුකුළා,

තාවඩි මුරුගන්  මූර්ති කෝවිලේ........
කිරිකාවඩි කරුවා,
වල්ලි දෙවඟන බිහිකළ මුව දෙන,
වශිෂ්ටර් හා කාරාම් පශු,
කතරගම දෙවියන් මහළු බමුණු වෙස්ගෙන අලියාගෙන් වල්ලි දෙවඟන බේරාගැනීම,
වැදි රූපය.

සුදු කුකුළා...........

සට්ටනාදර් ශිව දේවාලය.
ආභාසය:- යුරෝපීය යථාර්ථවාදී ශෛලිය.
වර්ණ:- ලා පැහැයට හුරු දුඹුරු වර්ණ මාලාවක්

ශිල්පක්‍රමය:- වියළි බදාමය මත සිතුවම් නිර්මාණය

හැඟීම් ප්‍රකාශනය:- ගාම්භීර පෙනුමක් සහිතව කුකුළාගේ චලනය ඉතා තාත්විකව දක්වා ඇත.

සුදු අත් සහිත පූජක රූපය හා ගණපති  රූපය.........

තේමාව:- සට්ටනාදර් ශිව කෝවිලේ දැකිය හැකිය.
ආභාශය:- දකුණු ඉන්දීය තන්ජාවූර් සිතුවම්  සහ යුරෝපා යථාර්ථවාදී සිතුවම්.
වර්ණ :-ලා දුඹුරු වර්ණවලියක් හා පසුබිම  ලා වර්ණ.
ශිල්පක්‍රමය :- වියළි හුණු බදාම මත සිතුවම් කරණය.(ෆ්‍රෙස්කෝ සිකෝ).

විශේෂ ලක්ෂණ:-පූජා ද්‍රව්‍ය හා අලංකාර තොරණක් සහිතව ගණපති රූපය සහ පහන් පූජාවේ නියැලෙන සුදු අත් සහිත පූජක රුව පෙරදිග සම්ප්‍රදායික ලක්ෂණ වලින්  ඇඳ අැත.

පෙරියතම්බි සුබ්‍රමණියම් (1920-2006)

*යාපනයේ ජීවත්වෙමින් ස්ව උත්සහයෙන් චිත්‍ර කලාව හැදෑරූ ශිල්පියෙකි.

*ඉන්දියාවේ රවි වර්මාගේ දෘෂ්‍ටි මායා (Illusion optical ) ප්‍රකාශන ශිල්ප ක්‍රමය  ඔහු අනුගමනය කර ඇත.

*ඔහුගේ සිතුවම් පහත සඳහන් කෝවිල් වල බිත්ති වල සහ තිරරෙදි මත දක්නට ඇත..............
- නල්ලූර් කෛලාසපිල්ලෙයාර් කෝවිල.
- ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිල.
- සුදුමලෙයි අම්මන් කෝවිල.
- වැල්වෙට්ටිත්තුරෙයි සිවන් කෝවිල.
- නල්ලූර් වීර කාලි අම්මන් කෝවිල.
- වෙලණෙයි අම්මන් කෝවිල.

අගස්තියර් විනායගර් නම් සිතුවම.....

*ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලේ දැකිය හැකිය.

*අගස්තියර් ගේ කෙණ්ඩියට කපුටු වෙසින් පැමිණි විනායගර් තට්ටු කළ නිසා හටගත් කාවේරි නදියේ කථා පුවත අවස්ථා තුනකින් නිරූපණය කර ඇත.

*වර්ණ ප්‍රභේද භාවිතයෙන්ත්‍රිමාන ලක්ෂණ වලින් යුතුව භාවිතා කර ඇත.

*රූප,ත්‍රිමාන ලක්ෂණ සහිත
වර්ණවල තානය(colour tone)මගින් ගොඩනගා ඇති හෙයින් රූප වල බාහිර රේඛාවක් දැකිය නොහැකිය.

*මෙම සිතුවමින් අගස්තියර් ගේ භක්තිය මැනවින් දක්වා තිබේ.

*තලය සැකසීමකින් තොරව එනැමල් වර්ණ යෙන් සිතුවම් කර ඇත.

ඇතා වල්ලිව එළවාගෙන යාම.....

*මෙම සිතුවම ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලේ දක්නට ඇත.

*ඇත් වෙසින් පැමිණි විනයාගර්  (ගණදෙවි ) වල්ලි පසුපස එලවන අතර
මුරුගන්(කතරගම දෙවි) ගෙන් පිළිසරණ ලැබීම.

*තලය සැකසීමකින් තොරව එනැමල් වර්ණ යෙන් සිතුවම් කර ඇත.

*ඇතාගේ භයංකාර බව හා වල්ලි ගේ බියමුසු හැඟීම ප්‍රකාශ කරණ මෙම සිතුවමින් ත්‍රාසය හා භීතිය මනාව ප්‍රකාශ කරයි.

10 වැනි ශ්‍රේණිය - චිත්‍ර දඹුලු රජමහ විහාරය.

Ajith w. Perera /
Ruveena Amarasinghe-
Cp/wath/Arangala K.V.

දඹුලු ගලේ රූ වරුණා........ රන්ගිරි දඹුළු රජමහා විහාරය.

ක්‍රි.ව. 1 වැනි සියවසේදී රජ පැමිණි වලගම්බා රජු
( වට්ටගාමිණී  අභය)  විසින් කරවන ලදී.

ලෙන් 5න් සමන්විත ය.

*දේවරාජ ලෙන
*මහා රාජ ලෙන
*මහා අළුත් විහාරය
*පශ්චිම විහාරය
*දෙවන අළුත් විහාරය

*මහා රාජ ලෙනෙහි බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව හා රජවරුන් ගේ ප්‍රතිමා දැකිය හැකිය.

*මෙම සිතුවම් මහනුවර යුගයට අයත්වන අතර, කීර්ති  ශ්‍රී රජසිංහ රජු ගේ අනුග්‍රහයෙන් කරවූ ඒවාය
(සුළු වශයෙන් අනුරාධපුර සිතුවම් කොටස් දැකිය හැක.)

*මෙහි සිතුවම් නිර්මාණය නීලගම සිත්තර පරපුරේ සිත්තරුන්  විසිනි.

මහනුවර යුගයට අයත් සිතුවම් පහත ලෙස වර්ග කළ හැකිය.

- බෝධිසත්ව චරිතය.
     සූවිසි විවවරණය.

- බුද්ධ චරිතයේ අවස්ථා.
      මාර පරාජය .
      ජේතවනාරාමය රන්කාසි      
      අතුරා පූජාකිරීම.

- ඓතිහාසික සිදුවීම්.
      විජයාවතරණය
      මහින්දාගමනය
      ශ්‍රී මහා බෝධීන් වහන්සේ
      වැඩම කරවීම. 
      එළාර දුටුගැමුණු යුද්ධය.

දඹුලු සිතුවම්වල  සුවිශේෂී ලක්ෂණ:-

*පාර්ශව දර්ශී රූප

*තීරු සංරචනය හා අඛණ්ඩ කථන ක්‍රමය

*ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ  භාවිතය.

*ප්‍රස්කෝ සිකෝ(වියළි බදාමය මත සිතුවම් කරණය).

*රූප වටා ප්‍රශස්ත රේඛාකරණය හා පසුබිම අවකාශය පිරවීමට
නෙළුම්,පිච්ච,සපුු,වැටකේ මල් යොදා ගැනීම.

*පරිමාණය හා පරියාවලෝකය නොසැලකීම.